සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් දෙවන වතාවටත් බ්ලොග් මැරතන් ඉසව්වක් පැවැත්වීමට තීරණය කොට ඇත. දෙසැම්බර් මස 27 වන දින සවස 6.00 න් ආරම්භ කර පැය හයක කාලසීමාවක් පැවැත්වෙන මෙය නම් කොට ඇත්තේ 'සිංහල මිනි බ්ලොග් මැරතන්' යන නමිනි.

පහත දැක්වෙන්නේ ඒ පිළිබඳව සංසදය විසින් පල කර ඇති නිවේදනයකින් උපුටාගත්තකි.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය, එළඹෙන දෙසැම්බර් 27 වැනි සෙනසුරාදා දින දෙවන වරටත් සිංහල භාෂා බ්ලොග් මැරතන් ඉසව්වක් පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇත. සිංහල මිනි බ්ලොග් මැරතන් ලෙස නම්කර ඇති එය සිංහල භාෂාවෙන් අන්තර්ජාලය ඔස්සේ ලේඛනය හා ප්‍රකාශනය සඳහා ඇති ප්‍රභලතම මාධ්‍යක් වශයෙන් වෙබ් ලොග් හෙවත් බ්ලොග් හඳුනා ගනිමින් එය ප්‍රවර්ධනය කිරීමද, සිංහල භාෂා බ්ලොග් රචකයන් අතර සුහඳතාව දියුණු තියුණු කිරීමද අරමුණු කර ගනිමින් සංවිධාන කරන්නකි.

එමෙන්ම පසුගිය සිංහල බ්ලොග් මැරතන් ඉසව්ව ආසන්නයේදී හදිසි අනතුරකින් මියගිය, සමාරම්භක සිංහල බ්ලොග්කරුවෙකු ද වන යසරුවන් ගුණතිලක සොයුරා අනුස්මරණය කිරීමද මෙම සිංහල මිනි බ්ලොග් මැරතන් ඉසව්ව පැවැත්වීමේ තවත් අරමුණක් වෙයි.

බ්ලොග් මැරතන්
දෙසැම්බර් මස 27 වැනි සෙනසුරාදා පස්වරු 6.00ට ඇරඹෙන මේ මිනි මැරතන් ප්‍රකාශන ඉසව්ව එදිනම රාත්‍රී 12 දක්වා වූ පැය හයක කාලයක් තිස්සේ පැවැත්වෙනු ඇත. එයට සහභාගි වන බ්ලොග්කරුවන් සෑම මිනිත්තු 15කට වරක් ම බ්ලොග් සටහන බැඟින් ලියා තම බ්ලොග් අඩවිය තුල පළ කල යුතු වේ. ඒ අනුව මුළු පැය හය තුළ දී එක් සහභාගිවන්නතුගෙන් බ්ලොග් සටහන් හෙවත් ලිපි 24 ක් පළ වීම අපේක්ෂා කෙරේ.

සිංහල භාෂාවෙන් පරිඝණක යතුරු ලිවීමේ යෙදිය හැකි සියලු දෙනාට මේ මැරතන් ඉසව්ව සඳහා සහභාගි වීමේ ඉඩකඩ විවෘතය. විජේසේකර යතුරු පුවරුව වැනි වර්ණයෝජන ක්‍රමයක් නුහුරු අයට පවා නොමිලේ ලබාගත හැකි පහසු මෘදුකාංග සහ තිරය මත යතුරු පුවරු (on screen keyboard) භාවිතයෙන් සිංහලෙන් ලිවීමේ පහසුව දැන් සැලසී තිබේ. මේ සඳහා අවශ්‍ය සියලු උපදෙස් හා උපකාර‍ www.sinhalabloggers.com/sinhala-help යන වෙබ් පිටුව මඟින් ලබාගත හැකිය.

බ්ලොග් සහ සිංහල බ්ලොග්
බ්ලොග් යනු අන්තර්ජාල ප්‍රකාශනයේ දියුණුතම පහසුකම් ඒකරාශී කරනු ලැබූ පහසු ප්‍රකාශන මෙවලමකි. ඒ ඔස්සේ ලිපි, ඡයාරූප, ග්‍රැපික් සහ වීඩියෝ ඇතුළු ඕනෑම ස්වරූපයේ අන්තර්ගතයක් වෙබ් අඩවියක ස්වරූපයෙන් ඉතා පහසුවෙන් ප්‍රකාශයට පත් කල හැකිය. කාලානුක්‍රමික පිළිවෙලට අලුත්ම ලිපි හෝ සටහන් වෙබ් පිටුවේ ඉහළින්ම දර්ශනය වන පරිදි වෙබ් බ්ලොග් සැකසී තිබේ. මේ ආකෘතිය නිසා එය තීරු ලිපියක ආකාරය බොහෝ විට සිහි ගන්වයි. RSS හෙවත් Really Simple Syndication මඟින් අන්තර්ජාලය ඔස්සේ ලිපි කියවන පාඨකයින්ට අඩවියට පිවිසීමට පෙරම එහි පළව ඇති දෑ පරික්ෂා කිරීමට ඇති හැකියාව බ්ලොග් අඩවි වල ඇති තවත් අනර්ඝ ලක්ෂණයකි. එසේම පාඨකයාට ද සජීවීව ප්‍රතිචාර දක්වමින් රචකයා සමඟ සමීපව අදහස් දැක්වීමට ඇති අවකාශය බ්ලොග්කරණයේ සුවිශේෂී පැතිකඩක් ලෙස හැඳින්විය හැකිය.

පසුගිය වසර කිහිපය තිස්සේ ඉංග්‍රීසි ඇතුළු ජාත්‍යන්තර භාෂාවන්ගෙන් මෙන්ම විවිධ ප්‍රාදේශීය භාෂාවන්ගෙන් ද බ්ලොග්කරණය ඉමහත් ව්‍යාප්තියක් අත්කරගෙන තිබේ. පුද්ගලික සටහන් වල පටන් සාහිත කලා ආදිය, පුවත්, සමාජ දේශපාලන හා සංස්කෘතික ආදී සියලු ක්ශේත්‍රයන් ඔස්සේම බ්ලොග් අවකාශයේ (Blogosphere) අන්තර්ගතය විහිදී පැතිරී පවතී. ලොව පුරා සුප්‍රකට ලේඛකයින්, දේශපාලන හා සමාජ ව්‍යාපාර හා වෙළඳ ව්‍යාපාර බ්ලොග් අඩවි ඔස්සේ සිය ප්‍රකාශන කටයුතු සිදු කිරීම අද වන විට සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. සිංහල යුනිකෝඩ් ආශ්‍රිත තාක්ෂණයේ ප්‍රචලිත වීමත් සමඟ දැන් සිංහල භාෂාවෙන් අන්තර්ජාලය තුල ලිවීමේ නව ප්‍රබෝධයක් ඇති වෙමින් පවතින අතර එය බ්ලොග් ලිවීම හා ප්‍රකාශනය දක්වා ද පුළුල් වී ඇත.

පසුගිය අප්‍රේල් මස දී පැවැත්වුනු පළමු බ්ලොග් මැරතන් ඉසව්වෙන් පසු තවදුරටත් පුළුල් වුනු සිංහල බ්ලොග් අවකාශය තුල දැනටමත් විවිධ මාතෘකා ඔස්සේ ලියැවෙන සිංහල බ්ලොග් අඩවි විශාල ප්‍රමාණයක් පවතින අතර එය තවදුරටත් විවිධ පැතිකඩයන් ඔස්සේ පුළුල් වෙමින් පවතියි. මේ තුලින් තාක්ෂණය ඇසුරු කිරීම සඳහා ඇති භාෂාමය ගැටළුවට පිළියම් සපයමින් තම මව් බසින් ප්‍රකාශිත අදහස් අන්තර්ජාලය හරහා කියවීමට ලාංකිකයන් උනන්දු කරනු ඇත. ඉදිරි කාලය තුල අන්තර්ජාලය දේශීයකරණය තුලින්, ලංකාව පුරා නව තාක්ෂණය ව්‍යාප්ත කිරීමට ඇති බාධා ඉවත්කිරීමට අවස්ථාව මෙවැනි ඉසව් හරහා සැකසෙනු ඇතැයි සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අපේක්ෂා කරයි.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
සිංහල භාෂාවෙන් බ්ලොග්කරණයේ නිරත වන අයට තාක්ෂනික හා භාෂාමය අධාරෝපකාර සපයා ගැනීමේ අරමුණින් හා බ්ලොග්කරුවන්ගේ අයිතීන්, වගකීම් හා සාමාජීය භූමිකාව පිළිබඳ දැනුවත් පුළුල් සංවාදයක් ගෙනයාමේ අභිලාෂය ද පෙරදැරිව ආරම්භ කෙරුණු සංවිධානය සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය යි. www.sinhalabloggers.com වෙබ් අඩවිය මඟින් එහි නිල වෙබ් අඩවිය වෙත පිවිසිය හැක.

ලොවටම දැනෙන්න ලියන්න! Shout it out!

0 comments: