"එවකට අපි පේරාදෙණියේ ශිෂ්‍යයෝ, සාමාන්‍යයෙන් පෝයදාට ඉස්සරෙන්දා අපි පොඩි බෝතල් පාටියක් දානවා. එක පෝය දවසකට ඉස්සරින්දාත් වැඩේ ඒ විදියටම සිද්ධ වුණා‍. නමුත් එදා පාටිය අවසාන වුණේ වෙනදාට වඩා වෙනස් ආකාරයකට... අපේ මිත්‍රයෙක් එදා පාටියට නුවර සරණ ලියක් කැඳවාගෙන ආවේ මදුවිතින් ඔබ්බට යන සංතර්පනයක් ලබාගැනීමට. එදා රෑ කලුවරේ අපේ ගොඩක් සගයෝ ඇගේ රසපහස වින්දා පාටිය අහවර වුණා.
ඊලඟ දවසේ අපේ කට්ටිය දවල් නැඟිටලා බීපු බීමවල සැර යන්න හොඳට නාලා කරල කාරිය සුදු ඇඳුම් එහෙම ඇඳගෙන දළඳා වදින්න යන්න පිටත් වුණා. අපි දළදා මැදුරට ලංවෙන්න ඔන්න මෙන්න තියෙද්දී අපි දැක්කා, ඊයේ රූ අපේ කට්ටිය සනසවපු අර සහෝදරිය, ඇගේ පුංචි උන් දෙන්නවත් ඉස්සරකරගෙන තෙල් මල් අරගෙන දළදා වඳින්න එනවා... මට ඇතිවෙච්ච සතුට කියලා නිම කරන්න බෑ. මං ඒක අපේ සඟයින්ටත් පෙන්නුවා. පෙන්නලා ඇයත් එක්ක කතා කරන්න ඔවුන් ලඟට යන්න සුදානම් වෙනකොටම අපේ එක සඟයෙක් මගේ කමීසෙන් ඇදලාමාව පැත්තකට ගත්තා‍.
"බණ්ඩො... තොට පිස්සුද ගොන්නුත් එක්ක මහ සෙනඟ මැද කතා කරන්න හදන්නේ?"
මගේ ඇස් උඩ ඉන්දුණා. මං එදා දළදා වැන්දේ නැහැ. මං ගිහින් වලා බැම්ම උඩ වාඩිවෙලා උතුර දකුණ මාරුවෙලා වගේ බලන් හිටියා. අර සහෝදරිය අපිව දැක්කද නොදැක්කද දන්නෑ. සෙනඟ අතරේ නොපෙනී ගියා. මට හරස් කැපුව අපේ සඟයම තමයි, එදා පාටියට ඇයව එක්කන් ආවෙත් ඇය එක්ක මුලින්ම එකට හිටියෙ"

මේ කතාව රන්බණ්ඩා සෙනෙවිරත්ත මහත්තයා තමන්ගේ 'ළඳුනේ' ගීතය ගැන පුවත්පතකට දක්වපු අදහසක්. අද උදේ මට මේ කතාව ආයෙත් මතක්වුනේ 'කල්පනා' බ්ලොග් අඩවියේ පලවූ මේ සටහන කියෙව්වට පස්සේ.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් දෙවන වතාවටත් බ්ලොග් මැරතන් ඉසව්වක් පැවැත්වීමට තීරණය කොට ඇත. දෙසැම්බර් මස 27 වන දින සවස 6.00 න් ආරම්භ කර පැය හයක කාලසීමාවක් පැවැත්වෙන මෙය නම් කොට ඇත්තේ 'සිංහල මිනි බ්ලොග් මැරතන්' යන නමිනි.

පහත දැක්වෙන්නේ ඒ පිළිබඳව සංසදය විසින් පල කර ඇති නිවේදනයකින් උපුටාගත්තකි.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය, එළඹෙන දෙසැම්බර් 27 වැනි සෙනසුරාදා දින දෙවන වරටත් සිංහල භාෂා බ්ලොග් මැරතන් ඉසව්වක් පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇත. සිංහල මිනි බ්ලොග් මැරතන් ලෙස නම්කර ඇති එය සිංහල භාෂාවෙන් අන්තර්ජාලය ඔස්සේ ලේඛනය හා ප්‍රකාශනය සඳහා ඇති ප්‍රභලතම මාධ්‍යක් වශයෙන් වෙබ් ලොග් හෙවත් බ්ලොග් හඳුනා ගනිමින් එය ප්‍රවර්ධනය කිරීමද, සිංහල භාෂා බ්ලොග් රචකයන් අතර සුහඳතාව දියුණු තියුණු කිරීමද අරමුණු කර ගනිමින් සංවිධාන කරන්නකි.

එමෙන්ම පසුගිය සිංහල බ්ලොග් මැරතන් ඉසව්ව ආසන්නයේදී හදිසි අනතුරකින් මියගිය, සමාරම්භක සිංහල බ්ලොග්කරුවෙකු ද වන යසරුවන් ගුණතිලක සොයුරා අනුස්මරණය කිරීමද මෙම සිංහල මිනි බ්ලොග් මැරතන් ඉසව්ව පැවැත්වීමේ තවත් අරමුණක් වෙයි.

බ්ලොග් මැරතන්
දෙසැම්බර් මස 27 වැනි සෙනසුරාදා පස්වරු 6.00ට ඇරඹෙන මේ මිනි මැරතන් ප්‍රකාශන ඉසව්ව එදිනම රාත්‍රී 12 දක්වා වූ පැය හයක කාලයක් තිස්සේ පැවැත්වෙනු ඇත. එයට සහභාගි වන බ්ලොග්කරුවන් සෑම මිනිත්තු 15කට වරක් ම බ්ලොග් සටහන බැඟින් ලියා තම බ්ලොග් අඩවිය තුල පළ කල යුතු වේ. ඒ අනුව මුළු පැය හය තුළ දී එක් සහභාගිවන්නතුගෙන් බ්ලොග් සටහන් හෙවත් ලිපි 24 ක් පළ වීම අපේක්ෂා කෙරේ.

සිංහල භාෂාවෙන් පරිඝණක යතුරු ලිවීමේ යෙදිය හැකි සියලු දෙනාට මේ මැරතන් ඉසව්ව සඳහා සහභාගි වීමේ ඉඩකඩ විවෘතය. විජේසේකර යතුරු පුවරුව වැනි වර්ණයෝජන ක්‍රමයක් නුහුරු අයට පවා නොමිලේ ලබාගත හැකි පහසු මෘදුකාංග සහ තිරය මත යතුරු පුවරු (on screen keyboard) භාවිතයෙන් සිංහලෙන් ලිවීමේ පහසුව දැන් සැලසී තිබේ. මේ සඳහා අවශ්‍ය සියලු උපදෙස් හා උපකාර‍ www.sinhalabloggers.com/sinhala-help යන වෙබ් පිටුව මඟින් ලබාගත හැකිය.

බ්ලොග් සහ සිංහල බ්ලොග්
බ්ලොග් යනු අන්තර්ජාල ප්‍රකාශනයේ දියුණුතම පහසුකම් ඒකරාශී කරනු ලැබූ පහසු ප්‍රකාශන මෙවලමකි. ඒ ඔස්සේ ලිපි, ඡයාරූප, ග්‍රැපික් සහ වීඩියෝ ඇතුළු ඕනෑම ස්වරූපයේ අන්තර්ගතයක් වෙබ් අඩවියක ස්වරූපයෙන් ඉතා පහසුවෙන් ප්‍රකාශයට පත් කල හැකිය. කාලානුක්‍රමික පිළිවෙලට අලුත්ම ලිපි හෝ සටහන් වෙබ් පිටුවේ ඉහළින්ම දර්ශනය වන පරිදි වෙබ් බ්ලොග් සැකසී තිබේ. මේ ආකෘතිය නිසා එය තීරු ලිපියක ආකාරය බොහෝ විට සිහි ගන්වයි. RSS හෙවත් Really Simple Syndication මඟින් අන්තර්ජාලය ඔස්සේ ලිපි කියවන පාඨකයින්ට අඩවියට පිවිසීමට පෙරම එහි පළව ඇති දෑ පරික්ෂා කිරීමට ඇති හැකියාව බ්ලොග් අඩවි වල ඇති තවත් අනර්ඝ ලක්ෂණයකි. එසේම පාඨකයාට ද සජීවීව ප්‍රතිචාර දක්වමින් රචකයා සමඟ සමීපව අදහස් දැක්වීමට ඇති අවකාශය බ්ලොග්කරණයේ සුවිශේෂී පැතිකඩක් ලෙස හැඳින්විය හැකිය.

පසුගිය වසර කිහිපය තිස්සේ ඉංග්‍රීසි ඇතුළු ජාත්‍යන්තර භාෂාවන්ගෙන් මෙන්ම විවිධ ප්‍රාදේශීය භාෂාවන්ගෙන් ද බ්ලොග්කරණය ඉමහත් ව්‍යාප්තියක් අත්කරගෙන තිබේ. පුද්ගලික සටහන් වල පටන් සාහිත කලා ආදිය, පුවත්, සමාජ දේශපාලන හා සංස්කෘතික ආදී සියලු ක්ශේත්‍රයන් ඔස්සේම බ්ලොග් අවකාශයේ (Blogosphere) අන්තර්ගතය විහිදී පැතිරී පවතී. ලොව පුරා සුප්‍රකට ලේඛකයින්, දේශපාලන හා සමාජ ව්‍යාපාර හා වෙළඳ ව්‍යාපාර බ්ලොග් අඩවි ඔස්සේ සිය ප්‍රකාශන කටයුතු සිදු කිරීම අද වන විට සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. සිංහල යුනිකෝඩ් ආශ්‍රිත තාක්ෂණයේ ප්‍රචලිත වීමත් සමඟ දැන් සිංහල භාෂාවෙන් අන්තර්ජාලය තුල ලිවීමේ නව ප්‍රබෝධයක් ඇති වෙමින් පවතින අතර එය බ්ලොග් ලිවීම හා ප්‍රකාශනය දක්වා ද පුළුල් වී ඇත.

පසුගිය අප්‍රේල් මස දී පැවැත්වුනු පළමු බ්ලොග් මැරතන් ඉසව්වෙන් පසු තවදුරටත් පුළුල් වුනු සිංහල බ්ලොග් අවකාශය තුල දැනටමත් විවිධ මාතෘකා ඔස්සේ ලියැවෙන සිංහල බ්ලොග් අඩවි විශාල ප්‍රමාණයක් පවතින අතර එය තවදුරටත් විවිධ පැතිකඩයන් ඔස්සේ පුළුල් වෙමින් පවතියි. මේ තුලින් තාක්ෂණය ඇසුරු කිරීම සඳහා ඇති භාෂාමය ගැටළුවට පිළියම් සපයමින් තම මව් බසින් ප්‍රකාශිත අදහස් අන්තර්ජාලය හරහා කියවීමට ලාංකිකයන් උනන්දු කරනු ඇත. ඉදිරි කාලය තුල අන්තර්ජාලය දේශීයකරණය තුලින්, ලංකාව පුරා නව තාක්ෂණය ව්‍යාප්ත කිරීමට ඇති බාධා ඉවත්කිරීමට අවස්ථාව මෙවැනි ඉසව් හරහා සැකසෙනු ඇතැයි සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අපේක්ෂා කරයි.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
සිංහල භාෂාවෙන් බ්ලොග්කරණයේ නිරත වන අයට තාක්ෂනික හා භාෂාමය අධාරෝපකාර සපයා ගැනීමේ අරමුණින් හා බ්ලොග්කරුවන්ගේ අයිතීන්, වගකීම් හා සාමාජීය භූමිකාව පිළිබඳ දැනුවත් පුළුල් සංවාදයක් ගෙනයාමේ අභිලාෂය ද පෙරදැරිව ආරම්භ කෙරුණු සංවිධානය සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය යි. www.sinhalabloggers.com වෙබ් අඩවිය මඟින් එහි නිල වෙබ් අඩවිය වෙත පිවිසිය හැක.

ලොවටම දැනෙන්න ලියන්න! Shout it out!

08 September 2008

Mail Fetcher at GMail

සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් විවිධ අවශ්‍යතාවයන් සඳහා වෙන් වෙන්ව email account කිහිපයක් භාවිතා කරනවා. ඉතිං මේ හැම එකක්ම පාහේ එකින් එක පරික්ෂා කරනවාට වඩා එක account එකක සිට මේ සියල්ල පාලනය කල හැකි නම් එය ගොඩක් ප්‍රයෝජනවත්.

GMail Mail Fetcher කියන්නේ GMail මඟින් නොමිලේ ලබා දෙන මේ ආකාරයේ සේවාවක්. මේ ගැන වැඩිමනක් විස්තර මෙතනින් බලාගත හැකියි.

ගැටළුවකට තියෙන්නේ
yahoo!, hotmail, lycos වැනි සමහරක් web mail සේවා සපයන සමාගම් කිහිපයක්, තමන්ගේ නොමිලේ දෙන සේවාව සඳහා POP3 access සඳහා සහය නොදැක්වීම. මේ නිසා ඒවා සමඟ mail fetcher යොදා ගැනීමට හැකියාවක් නැහැ.

procedure @ gmail:
  1. Settings >> 'Accounts' Tab
  2. 'Get mail from other accounts' කොටසේ ඇති 'Add another mail account' මත ක්ලික් කරන්න.
  3. අනතුරුව ලැබෙන dialog box සඳහා අවශ්‍ය සැකසුම් ලබාදෙන්න.
Images © googlesystem

" කඳු වල මෙවැනි උල්පත් පැන නඟී. ඒ වටා අඩි පාරවල් ඇතිවේ. මිනිස්සු අඩි පාරවල් ඔස්සේ ගොස් උල්පත් වලින් ජලය ලබා ගනිති. එහෙත් පුළුල් මාර්ග ඇති වූ පසු අර අඩි පාරවල් අමතක කර දමති. උල්පත් වටා කෙමෙන් කටුවැල් වැවී මුළු ගැනේ. අවට සිට බලන්නෙකුට ඒ උල්පත් ‍නොපෙනේ. රස්නෙ ඇති දවසක කෙනෙක් සිය පිපාසය නිවා ගැනීම පිණිස මහ මඟින් ඉවත් වී අර උල්පත සොයා එති. මුළු ගැන්වී තිබෙන උල්පත සොයා එමින් ඒ වටා ඇති වල් පැලෑටි සහ කටුවැල් උඳුරා දමති. කිසි කෙනෙකු විසින් හෝ අපිරිසිදු නොකරන ලද ඒ උල්පතේ ප්‍රනීත සිසිල් ජලය නිසලව ගලා බසිමින් නිල්වන් කැටපතක් සේ විනිවිද පෙනේ. එවිට උල්පත තුලින් තමා ද හිරු සහ කඳු වැටි ද පෙනෙන්නා සේය.. එවැනි සුන්දර තැන් ගැන අන් අයට නොදන්වා සිටීම පාපයක් සේ ගනන් ගන්නා අර මිනිසා සිය සඟයන්ට ද ඒ බව දැන්වීමට ඉටා ගන්නා නමුදු පසුව එය අමතක කර දමයි. එදිනෙදා ජීවිතයේ ද මෙය මෙලෙසම සිදුවේ. එහෙත් එය ජීවිතය ය... " (p 114-115)

- 'ගුරු ගීතය' චිංගිස් අයිත්මාතව්
(අනුවර්තනය: දැදිගම වී. රුද්රිගු)

මිනිස් ජීවිත තුල එකිනෙකාගේ අත්දැකීම් තුල යම් පොදු සමානතාවයක් ඇතැයි මට සිතේ. කලකට පෙර 'සිතුවිලි' හි පළවු මේ කව තුලින් ප්‍රකාශිත මනෝභාවයන් ඒ අයුරින්ම නොවුවද, යම්තාක් දුරකට මටද පොදු වූවකි.

කාලෙකට පසු දැක ඔබව
බලා සිටියෙමි සිත පුරා
එහෙත් ඔබ මා නොදැක විලසින්
සිටියේය අහක බලා

අත්වැල් නොඇල්ලුවද හැබැයින් කිසිදිනෙක
එහෙත් සිතින් සිතා ගෙන අපමණ වර
ඇවිද ගියෙමි හිස් මාවත් වල මම ඔබ සමග
ඔබ දැන සිටියාද එය.

ඔබ කෙසේ දැන ගන්න ද
එ දවස කට කොනින් සිනා වෙනු මිස
සිතේ ඇති දේ
නොපැවසෙමු අප මුවින් කිසි කලෙක

.....

යනෙන මාවතක් බදු මේ ජිවිත‌ෙය
කෙතරම් පා සටහන් ඇතිද පසු කෙරුණු
එකක් දෙකක් හැර අන් සියල්ලම මැකි ‌ගොස්ය
අළුත් අළුත් සටහන් මතුවන මේ ජිවිතේ
ඉද හිට මතු වෙනා ක්ෂණිකයෙන් මැකි යන
පා සටහනකි දැන් ඔබ ...... [quote END]
ජීවිතය සිහිනයක් බඳුය. විටෙක එය වේදනාකාරීය. තවත් විටෙක සුන්දරය. එවන් ජීවිතය තුල අපට මඟ හැරුණු දේත්, දැන දැනම මඟ හැරිය දේත් බොහෝ වෙයි. අප පසුකර ආ ගමන් මඟ තුල වූ සොඳුරු සිතිවිලි වල ආශ්වාදයන් කාලය නැමැති සාධකය නොසලකා අපේ සිත් තුල සදාකල් තැන්පත්ව පවතියි.

අත්පත්කර ගැනීමේ තදබල ආශාවකින් තොරව යමක කෙරෙහි බලාපොරොත්තු තැබීම එක් අතකට අර්ථශුනය නිශ්ඵල ක්‍රියාවක් විය හැකිය. එහෙත් මිනිස් ජීවිතය ජීවත් කරවන්නේ බලාපොරොත්තු මඟිනි. බලාපොරොත්තු වලින් තොරවූ ජීවිතය වූ කලී පැවැත්මක් ඇති එකක් නොවේ.
--

මේ හැඟීම ආදරය නම් ඒ කෙරෙහි වූ සමාජීය නිර්වචනයන් කුමක් වුවත් ඒ අර්ථයෙන් ඒ දෙස බලන්නට මා නොකැමතිය. සියල්ල ආත්මාර්ථයෙන් කෙළවර කරන මේ සමාජය තුල ආදරය පවා ආත්මාර්ථයෙන් තොර වුවක් ලෙසින් නොගනියි. එහෙයින් මේ සාමාජීය අර්ථයෙන් තොරවූ වඩාත් නිර්මල වූ හැඟීමක් ලෙසින් ආදරය සැලකීමට මම වඩාත් කැමත්තෙමි.

එය සැබවින්ම අත්හැර දැමීමේ ක්‍රියාවලියකි. අත්පත්කර ගැනීමේ දැඩි ආශාව තුල එහි බලය බිඳී යයි. අන්සතු වුවද ඒ කෙරෙහි ද්වේශයෙන් තොරව බලා සිටිය හැකි නම්, එසේ සිදුවන බව දැන දැනත් නිහඬව සිටිය හැකි නම් එහි පරමාර්ථයන් සාක්ෂාත් කර ගත්තාක් වෙයි.

කිසිදිනක අප්‍රකාශිත ඒ හැඟීම් එහෙයින්ම අමරණීය ද වෙයි.

12 July 2008

MediaWiki / wetpaint

Wiki කියල කියන්නේ ඕනෑම කෙනෙකුට සංස්කරණය කළ හැකි හා දායකත්වය දැක්විය හැකි ලෙස වෙබ් අඩවි සැකසීම සඳහා භාවිතා කරන තාක්ෂණයක්. මේ ගැන ඇති හොඳම උදාහරණය වෙන්නේ විකිපීඩියා අන්තර්ජාල විශ්වකෝෂය. එහි ඇති ලිපි හා තොරතුරු සියල්ලම පාහේ ලොව පුරා විසිරී සිටින අන්තර්ජාල පරිශීලකයන්ගේ එකතුවෙන් බිහිවුවක්.

මේ ආකාරයට Wiki තාක්ෂණය යොදාගත් විවිධ Knowledgebase මෙන්ම වෙබ් පිටු ද බොහෝ ප්‍රමාණයක් අන්තර්ජාලය තුලින් සොයාගත හැකියි.

මෙවැනි Wiki වෙබ් අඩවි නිර්මාණය කර ගැනීම සඳහා ක්‍රම කිහිපයක් තිබෙනවා. ඉන් එක් ක්‍රමයක් වෙන්නේ wetpaint වැනි Wiki සේවා සපයන වෙබ් අඩවියක තමන්ගේ විකියක් නිර්මාණය කරගැනීම.

අනිත් ක්‍රමය තමයි MediaWiki වැනි වෙබ් අඩවියකින් ලබාදෙන Wiki කේතන භාගත කරගෙන, තමන්ගේම සර්වර් එකක ස්ථාපනය කර ගැනීම. එය wordpress මඟින් තමන්ගේම වෙබ් ඉඩක බ්ලොග් එකක් සාදා ගැනීමට සමාන ක්‍රියාවලියක්.

මෙවැනි විකි වෙබ් අඩවි බොහෝමයක් ඉංග්‍රීසි භාෂාවෙන් දකින්නට ලැබුනත්, සිංහල භාෂාවෙන් නිර්මාණය කර ඇති විකි නම් වැඩිය දකින්නට නැහැ. කාලෙකට ඉහත තිබුණු Lyrics LK නම් වෙබ් අඩවිය මේ ආකාරයේ එකක්.